ගාමිණී ලොකුගේ: හොඳ, නරක සහ ආන්දෝලන

ඡායාරූප මූලාශ්‍රය,Facebook/Gamini Lokuge
- Author,බීබීසී සිංහල
- Role,
දශක හතරක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විධායක ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ කැබිනට් අමාත්‍ය ධූර දැරූ ගාමිණී කුලවංශ ලොකුගේ දිවි සැරිය නිමා කළේ ය.
1943 මැයි 08 වන දා උපත ලැබූ ඔහු මිය යන විට 82 වන වියෙහි පසු විය.
ගාමිණි ලොකුගේ 1983 වසරේ මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව 2024 තෙක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.
දේශපාලන ගමන් මග
1960 වසරේදී එක්සත් ජාතික පක්ෂයට එක්වී සිය දේශපාලන ගමන ආරම්භ කළ ඔහු1983 වසරේ පැවති අතුරු මැතිවරණයෙන් කැස්බෑව ආසනය නියෝජනය කරමින් මුල් වරට පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.
ගාමිණී ලොකුගේ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය සේවා වෘත්තීය සමිතියේ මෙන් ම ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ඔහු පසු කාලීනව මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කරමින් දේශපාලන ගමන් මග වෙනස් කළ අතර අභාවයට පත්වන තෙක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළේ ය.
පක්ෂ භේදයකින් තොරව සිය පාක්ෂිකයින්ට මෙහෙවර කළ අයෙකු ලෙස ද ඔහු කැස්බෑව ආසනය තුළ ප්‍රසිද්ධියක් ඉසිලුවේය.
කැස්බෑව ආසනයේ පාසල් හා විහාරස්ථාන සංවර්ධනයට මෙන් ම නගර සංවර්ධනයට ඔහු විශාල දායකත්වයක් ඉටුකර ඇති බව ද කියනු ලැබේ.
ගාමිණී ලොකුගේ දැරූ ඇමති ධූර මොනවා ද?
ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ 1989 සිට 1994 තෙක් ගාමිණී ලොකුගේ දෙවරක් සංචාරක රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය.
එමෙන් ම 2001 වසරේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පිහිටවූ රජයේ 2004 තෙක් සංචාරක ඇමතිවරයා වූයේ ද ඔහු ය.
2006 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූ ගාමිණී ලොකුගේ 2007 වසරේ සිට 2010 වන තුරු ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
2010 වසරේදී කම්කරු සබඳතා සහ ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, 2010 වසරේ සිට 2014 තෙක් කම්කරු හා කම්කරු සබඳතා ඇමතිවරයා ලෙසත් ගාමිණී ලොකුගේ කටයුතු කළේ ය.
කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් 2018 වසරේ කටයුතු කළ ඔහු ඉන්පසුව පැවති කැබිනට් සංශෝධනයේදී නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබී ය.
2020 වසරේ සිට 2022 වසර තෙක් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස හා විදුලි බල ඇමතිවරයා මෙන් ම ප්‍රවාහන අමාත්‍යංශය භාරව ද ඔහු කටයුතු කළේය.
ඔහුට එරෙහි චෝදනා මොනවා ද?
ගාමිණී ලොකුගේට එරෙහිව විවිධ චෝදනා එල්ල වී තිබුණ ද එම චෝදනා කිසිවක් විමර්ශනය කළ බව හෝ අධිකරණයක විනිශ්චයට ලක්වූ බවක් දැන ගන්නට නැත.
බීබීසී සිංහල වෙත ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි වූ සිදුවීම් රැසක් ද ඒ අතර විය.
88-89 ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් කැරැල්ල පැවති සමයේ වධකාගාර පවත්වාගෙන ගිය බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
මෙරට කොවිඩි වසංගතය පැතිර ගිය 2021 වසරේ එක් අවස්ථාවක පිළියන්දල නගරය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබූ අතර එවක ඇමතිවරයකු වූ ගාමිණී ලොකුගේ මැදිහත්ව පැය කිහිපයකින් එම සිමා ඉවත් කිරීම සෞඛ්‍ය අංශවල දැඩි දෝෂදර්ශනයට ලක් විය.
ඉහත චෝදනා කිසිවක් විමර්ශනය කළ බව හෝ අධිකරණයක විනිශ්චයට ලක්වූ බවක් දැන ගන්නට නැත.
ගාමිණී ලොකුගේ කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2011 වසරේදී පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට ගත් උත්සහය කම්කරු විරෝධය මැද හකුලා ගැනීමට සිදුවූ අතර, ඊට එරෙහිව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවති විරෝධතාවකට එල්ල කරන ලද පොලිස් වෙඩි ප්‍රහාරයෙන් රොෂේන් චානක කම්කරුවා මිය ගොස් තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබීය.
අවසන් මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන්
2024 දී පැවති මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවීම ගැන ගාමිණී ලොකුගේ මෙලෙස මාධ්‍ය වෙත හේතු කියා සිටියේ ය.
"මම ඇත්ත වශයෙන් ම ඉදිරිපත් වුණේ නැත්තේ. මගේ ශරීරය ඉඩ දෙන්නේ නෑ මැතිවරණයට. දැන් 83යි වයස. එදා වගේ දුවලා පැනලා යන්න බෑ ඒත් මගේ නම ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා."
මාධ්‍යවේදියා - ඉතින් ජාතික ලැයිස්තුවෙන් එන්නේ මොකෝ?
වාඩි වෙලා වැඩ කරන්න පුළුවන් නේ. හැබැයි මැතිවරණයකට දුවලා පැනලා වැඩ කරන්න බෑ.
'මිනිසුන් අතර හිටියා වැඩබිමත් එක්කත් බොහෝ ම සමීප යි'
"ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පරිණත දේශපාලන නායකයෙකු වූ හිටපු කැබිනට් අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි."
"මාගේ දේශපාලන ගමන්මග තුළ ශක්තියක් වෙමින් එතුමා දැක්වූ සහයෝගයට මාගේ ගෞරවය එක් කරන අතර එතුමන්ට උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරමි."යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
"අඩු ම පිරිවැයකින් කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද කරපු කෙනෙක් තමයි ගාමිණී ලොකුගේ කියන්නේ. ඒ වගේ ම සේවක ප්‍රශ්න පිළිබඳව ප්‍රබල විදියට මැදිහත් වූ චරිතයක්. තෙල් සංස්ථාවේ ඉඳලා එතුමා ගියත් ඒකේ අසාධාරණය උසස්වීම් දෙනකොට නඩු කියන්න පූර්ණ කැපවීමක් කරපු නායකයෙක්. මිනිසුන් අතර හිටියා වැඩ බිමත් එක්කත් බොහෝ ම සමීප යි," වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
2022 අරගලය සමයේ, පිළියන්දර හොන්න්තර ප්‍රදේශය් පිහිටි ඔහුගේ නිවසද ගිනිබත් කිරීමට ලක්විය.
එමෙන්ම බොහෝ පිරිසක් ගාමිණී ලොකුගේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අප්‍රසාදයෙන් යුත් අදහස් පළ කර තිබෙන අයුරුද දක්නට ලැබිණි.














